දෙවනි දිගහැරුම
පළමු කොටස
ලෝරන් හාර්ඩ්මාන්, තමා ඉතා වාසනාවන්තයෙකු බව දැන සිටියේය.
ආයතනය මේ වනවිට තිබුනේ ඔහුගේ පාලනයේය. ඔහුගේ සීයා, පළමුවැන්නා ෆාම් බීචයට පසු බැස සිටියේය. වරින් වර ඔහුගේ අතපෙවීම් තව දුරටත් සිදු වූවත්, ආයතනයේ දෛනික පරිපාලනය ලෝරගේ අධීක්ෂණය යටතට බොහෝදුරට පත්වී තිබුණි. පළමුවැන්නාගේ ප්‍රධාන ඉල්ලීම වූයේ ආයතනය තවදුරටත් මෝටර් රථ නිෂ්පාදනය පවත්වාගෙන යා යුතු බවයි. එනිසා අති පැරණි සන්ඩාන්සර් රථය තවදුරටත් ආයතනය මගින් නිපදවමින් තිබුණි. නමුත් එය එතරම් කලකට නොවනු ඇතිබව ලෝරන්ස් තරයේ විස්වාශ කලේය.
එයටත් වඩා ලොරන්ස්ගේ එනම් තෙවැන්නාගේ සිත් ගත්තේ තව දුරටත් ඇංජලෝගේ අත පෙවීම් නොමැති වීමයි. ඔහු ඩෙට්රොයිටයට පවා ආවේ ගියේ ඉතා කලාතුරකිනි. ආයතනයේ කටයුතුවලට කිසිදු අතපෙවීමක් නොකරන ලෙසට ඇංජලෝට පළමුවැන්නාගෙන් දැඩි නියෝගයක් ලැබී තිබුණි. කොටස් ලක්ෂ දෙකක් හිමියෙකු ආයතනයෙන් සම්පූර්ණයෙන් ඈත්කර තැබීම එතරම් පහසු කටයුත්තක් නොවූවත්, පළමුවැන්නාට එරෙහිවීමට තරම් ඇංජලෝ මෝඩයෙකු නොවන වග තෙවැන්නා මනාම දැන සිටියේය.
පළමුවැන්නා දක්ෂයෙක් මෙන්ම තදයෙකුද විය. පෙරීනෝගෙන් වැඩගත් ඔහු අවසානයේ ඒ ඉතාලියානු බල්ලාට ලේ වල බැඳීම අන් කවර බැඳීමකටත් වඩා තද බව පසක් කර දුන්නේය. තෙවැන්නා ඉතා දුර්වල ලෙස පසුබැසගිය මොහොතේ පවා පළමුවැන්නා ඔහුව අත නොහැර, ඔහුගේම පවුලේ දුබලයෙකු පවා ඔහුට පිටස්තරයෙන් ආ ප්‍රබලයෙකුට වඩා වටිනා බවට ඇංජලෝට පහදා දුන්නේය.
ලෝරන්ට ඔහු වාසනාවන්තයෙකු බව පසක් කර දුන්නේ මේ ව්‍යාපාරික කරුණු පමණක්ම නොවේ. වඩාත්ම වැදගත් වූයේ ඔහු වටිනා පවුල් ජීවිතයක්ද ලැබී තිබීමයි.
බෙට්සිගේ මව, ඇලීසියා තවදුරටත් ඔහුට වදයක් වූයේ නැත. ඇය මේ වනවිට කොනෙක්ටිකට් හි වාසය කරමින් ගෝල්ෆ් ක්‍රීඩාවට හා බෝට්ටු සවාරිවලට සිය අවධානය යොමු කරමින් කාලය ගත කලාය. ඇයට තවත් අළුත් පෙම්වතෙකු හමුවී ඇතිබව ඔහුගේ විස්වාශය විය. බෙත්ලෙහෙම් ආයතනයේ කොටස්වලින් සීයට පහකට ඇයද හිමිකම් කීවාය.
බොබී හෙවත් අයිරිස් ආර්යාව, ඔහුගේ දෙවන බිරිඳ, ඔහුගෙන් දික්කසාදව, වෙනම ජීවිතයක් ගතකලාය. ඇයගේ දික්කසාදය ඔහුගේ ධනයට බලපෑමක් ඇති නොකල තරම්ය.ඔවුන් අතර ඇතිවූ වචන හුවමාරුවකදී ඇය හා ඇංජලෝ අතර ලිංගික ගණුදෙණුවක් සිදු වූ බව ඇය පිළිගෙන තිබුණි. (ඒ බල්ලා මට දිවුරල පොරොන්දු උනා මගේ ගෑණිට අත නොතියන බවට. ඒකි කියන්නේ ඌ අත තිබ්බෙ මගෙ ගෑණිට නෙමෙයි මගෙ පෙම්වතියටලු. උන් දෙන්නා වැඩේ කරල තියෙන්නෙ අපි දෙන්නා බදින්න කලින් අපි යාළු වෙලා හිටපු කාලෙලු. කොහොමත් එකයි. කොහොම උනත් ඌ මහ වනචර බල්ලෙක්.). ඇය ලෝරන්ට වෛර නොකලාය; ඒ වෙනුවට ඔහුව දැඩිලෙස උපහාසයට හා අපහාසයට ලක් කලාය. එය වෛර කිරීමකටත් වඩා ඉවසාගැනීමට අපහසු කාරණයකි. ඒ කෙසේ නමුත් ඇයද මේ වනවිට ඔහුගේ ලොවින් දුරස්ව සිටියාය. එම දුරස් වීම ඉතා හොඳ දුරස් වීමක් බව ලෝරන්ස්ගේ පිළිගැනීම විය.
ඇයගෙන් වෙන් වී මාසයකට පසු ඔහුට රොබෙර්ටා මුණ ගැසුණි. එය ඔහුගේ දිවියේ වඩාතම වැදගත්ම හා සතුටුදායකම සිදුවීම විය. ඉන් පසු සියල්ල යහපත් වූ අතර, ඔහු කල් නොයවාම රොබෙර්ටාව විවාහ කර ගත්තේය.
ජනාධිපති නික්සන් අඳින පළඳින ලෙසට ඇඳීමට හා පැළඳීමට ලෝරන් ප්‍රිය කලේය. ඔහුද නික්සන් අනුගමනය කරමින්, ඇමරිකානු ධජය යෙදූ කබා පටියක් පැලැන්දේය. නික්සන් විසින් යලි ප්‍රචලිත කල, වෙස්ට්-කෝට් ඇඳුම ඔහුට ඉතා ප්‍රිය විය. එම ඇඳුම නිසා ඔහුගේ ඉදිරියට නෙරාවිත් තිබූ බඩ ගෙඩිය සැඟවී යන බව ලෝරන්ගේ නිගමනය විය. එසේම නික්සන්ට පිංසිදු වන්නට, තොප්පිය පැළඳීමත් නැවත සමාජ ගතවී තිබීම ලෝරන්ගේ ඉමහත් සැනසිල්ලට හේතු විය. එනිසා ලෝරන්ට ඔහුගේ පෑදීගෙන එන තට්ටය සඟවා තබා ගැනීමට පහසු මඟක් ලැබී තිබුණි. ලෝරන්, තමා තරබාරුවෙකු බව මනාව දැන සිටියේය. බීමත්කම අත්හැර දැමීමෙනුත්, ව්‍යායාම මගිනුත් තමාට පහසුවෙන්ම කඩවසම් පුද්ගලයෙකු බවට පත්වීමට හැකියාව පවතින බව ලෝරන්ගේ විස්වාශය විය. නමුත් කඩවසම් පුද්ගලයෙකු වීමට වඩා වැදගත් වන්නේ තෘප්තිමත් පුද්ගලයෙකු වීම බව ඔහු ඔහුටම ඒත්තු ගන්වාගෙන සිටියේය.
ඔහු සිටියේ සන්ඩාසර් රථයක පසුපස අසුනේ වාඩිවීය. ඔහුගේ ගමනාන්තය නිවස විය. රථයේ ඉදිරිපස ඔහුගේ රියදුරා හා අංගාරක්ෂකයා අසුන්ගෙන සිටියෝය. කුලී මැරයන් යොදවා, ඇංජලෝට සිදුකල පහරදීමෙන් අනතුරුව අංගාරක්ෂකයෙකුගේ සේවය ලබා ගැනීමට ලෝරන් පෙළඹී සිටියේය. ඒ බැල්ලිගේ පුතා යම් දිනක තමාට පෙරලා පහර දීමට හා තමාගෙන් පලිගැනීමට බොහෝ ඉඩකඩක් ඇත. ඒකාගේ පවුල දීර්ඝ මැර ඉතිහාසයක් සහිත එකකි. පලිගැනීමේ හස්ථය කොහෙන් හෝ දිගු වීමට ඉඩ ඇත.
බෙත්ලෙහෙම් සමාගමේ සභාපති ලෙසට ඔහුට අනිවාර්ය්යෙන්ම හිමි වූ එක් හිසරදයක් නම් සන්ඩාන්සර් රථයක් භාවිතා කිරීමට සිදුවීමයි. අධි සුඛෝපභෝගී රථයක් තම සමාගම මගින් වෙළඳපොලට එකතු කිරීම මේ සඳහා සුදුසුම විසදුම වූවත් එයට පළමුවැන්නා හෝ මෝටර් රථ අලෙවි කරුවන් කිසිසේත්ම එකඟ නොවනු ඇති බව ලෝරන් දැන හුන්නේය. සන්ඩාන්සර් රථය පවා වෙළඳපොලේ අළෙවි වන්නේ ඉතා අඩු සංඛ්‍යාවකි.
කෙසේ නමුත් ඔහු භාවිතා කරන රථය එම වර්ගයේ ලෝකයේ පවතින එකම සන්ඩාන්සර් රථයයි. ඇත්තෙන්ම එහි ඉතිරිවතිබුනේ සන්ඩාන්සර් රථයක පිටත පෙනුම පමණි. ඉතිරි කොටස් සියල්ල, එංජිම පවා, අධි සුඛෝපභෝගී අංගෝපාංගයන් යොදා වෙනස් කිරීමට ලෝරන් පියවර ගෙන තිබුණි. එහි බලය මස්ටෑංග් රථයක් වුව පහසුවෙන් පසු බැස්සවීමට සමත් මට්ටමක තිබුණි. මෝටර් රථයේ අභ්‍යන්තරයද ඉතාම සුඛෝපභෝගී විය. මෝටර් රථයේ නවීකරණ කටයුතු සඳහා ලෝරන් ඩොලර් ලක්ෂ හයක් පමණ වැය කලේය. ඒවා ඔහුගේ සාක්කුවෙන් නොව ආයතනයේ විවිධ ගිණුම් හරහා භාවිතා කල මුදල් විය. පළමුවැන්නා කිසිදිනක මේ පිළිබඳ දැන නොගනු ඇත. එය එසේම වනු ඇතිබවට ලෝරන් වගබලා ගනු ඇත.
Comments
Post a Comment