මටම මෙහෙම උනානේ!!

Image
  පුබුදුවා මට පොඩි උදව්වක් කරපං කොල්ලො. මම හිටියෙ වැඩ ඇරිලා ගෙදර යන ගමං. පිටිපස්සෙං ආපු සද්දෙ කාගෙද කියලා බැලුවාම මේනකයා. මේකා මේ මාත් එක්ක කතා කලේ හරියටම මාස තුනකට පස්සෙ. ඒක උනේ මේකා කසාදයක් කරගත්ත දවසේ ඉඳං. කෙල්ල පට්ට කෑල්ල. හැබැයි වසයි. බැන්ද බැන්දමයි ආයේ අපි එක්ක සෙට් වෙන්න දුන්නෙම නෑ. හෙන පොරවගේ හිටපු මේනකයට වෙච්චි අකරතැබ්බෙ ගැන අපි හැමෝම දුක් උනා; හිනා උනා. අනේ මචං මෙන්න මේ පාර්සලේ අපේ ගෙදරට ගිහිල්ලා දීපං. මූ මොකද්දෝ පාර්සලයක් මගේ අතට දුන්නා. මොනා උනත් අපේ හිටපු බොක්කක් නිසා මම වචනයක්වත් නොකියා පාර්සලේ ගත්තා. මේනකයගේ ගේ තිබ්බෙ අපේ ගෙදරට යන පාරෙමයි. මම දොරට තට්ටුවක් දැම්මා. මේනකයගෙ වයිෆරේ ඇවිල්ලා දොර අරිනකං දොරකඩට වෙලා ටික වෙලාවක් බලා හිටියා. ඒකි වැඩකලේ මොකඛරි ඔෆිස් එකක. උන්ට අපිට වගේ නෙමෙයි සෙනසුරාදටත් නිවාඩු. හිටියා හිටියා මේකි එන පාටක් නෑ. තව කීප සැරයක් තට්ටු දැම්මා ඒත් ප්‍රතිචාරයක් නෑ. මම දොර ඇරියා. ඒක නිකං වහලා තිබුනෙ. මේ මගුල් පාර්සලේ දීලා ඉක්මනට යන්නත් ඕනෙ. මගෙ වයිෆරෙත් මං එනකං බලා හිටියෙ ඒකිලගෙ මහ ගෙදර යන්න. පරක්කු උනොත් බර බරේ. ඒ නිසා මම ගෙට ගිහිං කතා කලා. නංගී!! නංගී...

ඇගෙත් මගෙත් කතාව.....පලමු දිගහැරුම...



BY SAM....


"මචෝ අදනං කෙල්ල එන පාටක් නෑ! ෂුවර් එකටම මේකි අද වෙන පාරකිං යන්න සෙට් වෙලා වගේ!" සුරා කියයි. සුරා ලෙස කෙටියෙන් හැඳින්වූවත් ඔහුගේ නියම නම සුරංගය. අපේ කණ්ඩායමේ සිටින කෙට්ටුම කොල්ලා ඔහුය.

"ඇයි ඉතිං මේකා හැමදාම ගිලින්න වගේ ඒකි දිහා බලාගෙන ඉන්නවනෙ. ඒකි බයවෙන්න ඇති!" මම කීවෙමි.

"නෑ බං. මටනං ෂුවර් ඒකි අදත් එනව කියලා. එදත් ලාවට ඇහැ දාල ගියෙ. යන්තමට හිනාත් උනා." කණ්ඩායමේ අනංගයා, මේනකය ඒ.

අපේ ප්‍රධාන කණ්ඩායමේ සෑහෙන පිරිසක් සිටිය ද, මෙහි සිටියේ ජගත් සර්ගේ විද්‍යාව පංති යන අප තිදෙනාගේ කුඩා කණ්ඩායම පමණි. කට් කිරීම නිසා පංති කීපයකින්ම දොට්ට විසි වූ අප තිදෙන, මේනකගේ පියා වූ විජේපාල මහතාගේ ඉල්ලීම මත ජගත් සර් සිය පංතියට  එක් කර ගත්තේ නීති රීති දහසක් දැමීමෙන් පසුවය. ඉන් පළමු හා වැදගත්ම නීතිය වූයේ නිසි වේලාවට පන්තියට යාමයි.

මේවන විටත් කොහෙවත් යන කෙල්ලෙකු නිසා අප විසින් එම නීතිය දැඩි ලෙස උල්ලංඝනය කරමින් පැවතිණි. කෙසේ නමුත් එය එතරම් ගනනකට ගතයුතු දෙයක් ලෙස අපට සිතුනේම නැත.

"අන්න කෙල්ල එනවා!" සුරා පවසන්නට විය. අප තිදෙනාම කොක්කු තිදෙනෙකු මෙන් බෙල්ල දික් කරමින් පාරේ ඈත කෙලවර දෙස බලන්නට වූයේ ඇගේ දසුන දැක ගැන්මටය.

අපේ ප්‍රමාධය හෝ රස්තියාදුව පිළිබඳ කිසිදු සැලකිල්ලකින් තොරවම ඇය ලැසි ගමනින් පාර දිගේ එමින් සිටී. මේ මෝඩ කෙල්ල ගැන මටනම් ඇතිවූයේ බලවත් තරහකි.

"බලපන් මේකි කිසි ගානක් නැතුව හෙමින් හෙමින් , ගාට ගාට එන හැටි! දෙන්ඩ හිතෙනවා හොම්බට හැටක්! නොදකින් විතරක් තොපි වගේ යාළුවො හින්ද මටත් උනානෙ එක එකියන්ගේ ගෑස් බලන්ඩ පාරවල් ගානෙ ලඟින්ඩ. ෂික්! අදත් ඉතිං පන්ති යන්නනම් වෙන්නෙ නෑ අපිට. පත්මා කාරයා හරියට ඉස්කෝලෙ උගන්නන්නෙත් නැති නිසා විද්‍යාවනං ඉතිං ෂුවර් එකටම ෆේල් තමා!" මම කියවන්නට වීමි.මගේ කියවීම අවසාන කොටසට එන අතරේදී ඇයත් සෙමින් සෙමින් අප අසලටම පැමිණ තිබුණි. මා කියූ කිසිවක් මගේ මිතුරන් දෙදෙනාට ඇසුනායයි මම නොසිතමි. ඔවුන් දෙදෙනාම කිකිළි නෑම්බියක දෙස බලන සිවළුන් දෙදෙනෙකු මෙන් කෙල හලමින් ඇය දෙසම බලා සිටී.

"නියම කෑල්ල බං! මේ වගේ කෑල්ලක් සෙට් වෙනවානං මොනතරං කට්ටක් කෑවත් ප්‍රශ්ණයක් නෑ, නැද්ද සුරා!" මේනකයා කියවයි.

"අනිවා මචෝ! අපි තුන්දෙනාගෙන් කාට සෙට් උනත් මටනං අවුලක් නෑ. හැබැයි පිට යන්න නං දෙන්න හොඳ නෑ!" සුරංගයා ඒ මේ අවු අස්සේත් දාර්ශණිකයෙකු වීමට තතනයි.

"අනේ මේ! මටනං ඔය කෙල්ලො ඕනෙ නෑ. උඹල දෙන්නම කරන දෙයක් කර ගනිල්ලා. මටනං දැනටමත් මේ රස්තියාදුව  එපා වෙලා. මමමේ ඉන්නෙ තොපි දෙන්නා හින්දා." මම කීවෙමි. ඇත්තෙන්ම ඒ මාගේ අවංකම අදහසයි. කෙල්ලෙක් යාළු කර ගැනීමේ කිසිදු උවමනාවක් ඒ වනවිටත් මගේ තුන්හිතකවත් නොතිබුණි. මා පුදුම වූයේ අන් සියළු වැඩ අතැර දමා මේ කොහෙවත් යන කෙල්ලන් නිසා කොල්ලන් මෙතරම් දුක් කන්දරාවක් විඳින්නේ ඇයිද යන්න ගැන පමණි.

"අනේ අයියෙ! කරුණාකරලා මගෙ පස්සෙන් එන එක නතරකරල දානව ද? මට මේක හරිම කරදරයක්! අනික මට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා!" මම ඇගේ මුහුණදෙස බැළුවෙමි. එය ඉතා හුරුබුහුටිය. සිත් ඇදගන්නා සුළුය. පුදුමය වූයේ එය එක එල්ලේම එල්ලවී තිබුණේ මා වෙතට වීමයි. මේ ක්‍රියාදාමයේ අවමම කොටස්කරුවා වුයේ අහිංසක මාය. එවන් මටය ඇය මෙලෙස තරවටු කරන්නේ. කරුමයක් මහතනම් එයට එරෙහිව කිසිදු වදනක් තෙපලීමට නොහැකිවන ලෙසින් මගේ දිව ගොළු වී තිබීමයි. ඒ විතරක් නම් මදැයි! මගේ උගුර කටද වියලී මා ගල් පිළිමයක් බවට මොහොතකට පත්ව තිබුණි. කුඩාකල සිටම පවුලේ එකම දරුවා ලෙසින් දෙමාපියන්ගේ ආදර රැකවරණය මැද හැදී වැඩුණු මා හා කෙල්ලන් අතර තිබුණේ අවම ගනුදෙණුවකි. එයට හේතුවනම් කිසිවෙකුට හිස නැමීමට, පාච්චල් වීමට මා තුළ වූ දැඩි අකමැත්තයි. කෙල්ලෙක්ගෙන් ඇසීම, පස්සෙන් යාම පාච්චල් වීමක් ලෙසට මා සිතේ පැලපදියම් වී තිබුණි. එවන් මටය ඈ එලෙස තරවටු කලේ.

මගේ වීර මිතුරන් දෙදෙනාද කසාය බිව් ගොළුවන් දෙදෙනෙකු මෙන් තරවටු කරන ඈදෙස බලා සිටියහ.
"අනේ ඔයාලවත් කියන්නකො මෙයාට මගෙ පස්සෙන් එන එක නතර කරන්න කියලා." ඇය පවසයි. එයට එරෙහිව වදනක් හෝ කියුවේ ඔවුන් නොවේ. ඒ වෙනුවට ඇගේ කීමට එකඟතාව පළකරමින් කටුස්සන් දෙදෙනෙකු මෙන් හිස සැලීම පමණක් ඔවුහු මනාව සිදු කලහ. අවසන් වතාවටත් මා වෙත රවා බැලූ ඈ, ගස්සමින් මා වෙතින් ඇදී ගියේ, කෝපයට පත් කොටි දෙනක් මෙනි.

ක්‍රමයෙන් පියවි සිහියට එළඹෙත්ම මුළින්ම මට ඇතිවූයේ දරා ගත්නොහැකි තරම් වූ අධික ලජ්ජාවකි. ක්‍රමයෙන් එය කෝපයකට පෙරළුණේ කොහෙවත්යන කෙල්ලෙක්ගෙන් බැනුමක් ඇසීමට නිකරුණේ මට සිදු වූ නිසාය.

සුරා හා මේනකයා අමුතු සතෙකු දෙස බලනවාක්මෙන් කටවල්ද ඇරගෙන මා දෙස බලා සිටිති.

"තොපි දෙන්නා හින්ද තමා මේ ඔක්කොම" කියූ මම සැනෙකින් හැරී එතැනින් ඉවතට ගමන් කලෙමි.

Comments

Popular posts from this blog

ඇගේත් මගේත් කතාව - දෙවන දිගහැරුම

මටම මෙහෙම උනානේ!!

අනේ අපොයි!!